Adbrite

Sunday, July 31, 2016

මයික්‍රොසොෆ්ට් වර්ඩ් - පින්තුර තැනින් තැනට ගෙන යාම - Moving and word wrapping pictures

පින්තුර සමග වැඩ කිරීමේදී දන සිටිය යුතු තවත් දෙයක් වනුයේ, ඒවා ලිපිගොනුවේ තැනින් තැනට ගෙනයාමටයි. එයද ඉතා පහසු ක්‍රියාවකි.

ඔබට කරන්නට තිබෙන්නේ, පින්තුරය මත ක්ලික් කරගෙනම සිට, මවුස් එකෙන් අවශ්‍ය  තැනට ඇද දැමීමය.. අප මෙය drag කිරීම ලෙස හඳුන්වමු. මෙහිදී, අප ප්‍රථමයෙන් ක්ලික් කිරීමේදී ඔබා ගෙන සිටි මවුස් බට්න් එක අතහරින්නේ අවශ්‍ය තැනට රුපය රැගෙන ආපසුය.

පහත පෙන්වා ඇති ලිපිගොනුවට හෙලිකොප්ටරයක රුපයක් ඇතුළු කර එය එම ඉංග්‍රීසි කවියේ මැදට ගෙන යාමටයි මා දැන් සුදානම් වනුයේ,



මෙහිදී මතු විය හැකි ගැටළුවක් අපි විමසා බලමු. පහත දැක්වෙන්නේ හෙලිකොපටරය කවියේ මැදට ගෙන ආ පසු දිස්වෙන ආකාරයයි.



ඉහත කවියේ අකුරු රටාව රුපය නිසා වෙනස් වී  ඇති බව ඔබට පෙනෙනු ඇත. එය ගැටලුවකි. මෙහිදී වී ඇත්තේ, රුපය කවියේ පද පේලියක් මත ස්ථානගත වී තිබීමයි. මෙසේ අකුරු තිබෙන තැන වෙනස් වීම ගැටළුවක් බැවින් ඒ සඳහා විසඳුමක් මෘදුකාංගය මඟින්ම සපයා දී ඇත.

එය Text Wrap කිරීම ලෙස හඳුන්වයි.

මින් කෙරෙන්නේ, රූපයකට සාපේක්ෂව අකුරු පැවතිය යුතු ස්ථාන නිශ්චිතව දැක්වීමයි. එසේ නිශ්චිතව දැක්වූ පසු හෙලිකොපටර්යට සාපේක්ෂව අකුරු පවතින ස්ථානය පහත නිදසුනෙන් දැක්වේ.


ඉහත රුප දෙකේ පැහැදිලි වෙනසක් ඔබට පෙනෙනු ඇති මම විස්වාස කරමි. 

අපි දැන් මෙසේ වෝර්ඩ් වරප් කරන්නේ කෙසේ දැයි විමසා බලමු.

ප්‍රථමයෙන්ම ඔබේ රුපය ක්ලික් කර, ඉහලින්ම ඇති Picture Tools නම් බට්න් එක ක්ලික් කරන්න.

  එවිට පින්තුර සංස්කරණයට ගැලපෙන ලෙස එහි ෆොර්මැට් නමින් ටැබ් එකක් ඉස්මතු වේ. පහත රුපය බලන්න.



දැන් මෙහි ඇති Text Wrapping නම් බට්න් එක ක්ලික් කරන්න. එවිට තවත් මෙනුවක් දිස්වේ. එහි විවිධාකාර Text Wrapping  ක්‍රම ඇත. අප ඒ එකිනෙකක් ගැන විමසා බලමු. (පහත රුප බලන්න).




In Line with Text - රුපය සහ පේළියකට අදාල වූ අකුරු එකම පේළියක තැබීම. සාමාන්යෙන් පවතින ආකාරය මෙය වේ.

Square -  රුපය වටා අකුරු චතුරශ්‍රයක ආකාරයට සැකසීම.
Tight -  රූපය වටා රුපයට  ඉතා ආසන්නව අකුරු තැබීම. හැකි සම අවස්ථාවකම මෙය තෝර ගන්න.
Behind Text  - රූපයට පිටුපසෙන් අකුරු තැබීම. මෙවිට රුපයට යටවී ඇති අකුරු නොපෙනේ.
In Front of Text -   - රූපය මත අකුරු දිස්වි රූපය යට යාම සිදුවේ.
Top and Bottom - රූපයේ ඉහලින් සහ පහලින් අකුරු පිලිවලට සැකසේ.










ඔටෝද මැනුවල් ද? Auto or manual transmission?

වර්තමානයේ මෙරටට ගෙන්වන වාහනවල ගියර් පද්ධතිය සම්බන්ධව මීට දශකයකට පෙර නොතිබුණු විශාල වෙනසක් මෙකල ඉතාම පැහැදිලිව දක්නට තිබේ. එනම්, මිට පෙර ඉතා බහුලව තිබුණු මැනුවල් ගියර් වාහන අද ස්වයංක්‍රීය ගියර් සහිත වාහන වලින් ආක්‍රමණය කර ඇති බවයි.  

මෙම දෙවර්ගයේම මෝටර් රථ වල ඒවාට ආවේනික වූ වාසි සහ අවාසි තිබේ. අද මෙම ලිපිය තුළින් අප කතා කිරීමට සැරසෙන්නේ එම වාසි හා අවැසි සම්බන්ධවයි.

මා මෙහිදී ලිවීමේ පහසුව සලකා මැනුවල් ගියර්  ලෙස ස්වයංක්‍රීය නොවන ගියර් සහිත වාහනද, ඔටෝ ගියර් ලෙස ස්වයංක්‍රීය ගියර් සහිත වාහනද දක්වන බව කරුණාවෙන් සලකන්න.

මෝටර් රථය  මැනුවල් හෝ ඔටෝ එකක් වේවා, එය සාර්ථකව ධාවනය කිරීමට නම් ගීයර් දැමීම අනිවාර්යෙන්ම කෙරිය යුතු දෙයකි.
මෝටර් රථයේ අක්සලේටරය  පාගා වෙගය වැඩි කරන විට, එන්ජිම  කරකැවෙන වේගය වැඩිවේ. මෙම වේගය මැනෙන්න RPM වලිනි. සමහර මෝටර් රථ වල RPM මීටර් එකක් තිබේ. එවැනි රථ වල RPM එකේ රතු කට්ටක් ද තිබේ. ඔටෝ  හෝ මැනුවල් වේවා, මෙම කට්ට පැනීමට පෙර ඊළඟ ගියරයට මාරු කර යුතුය. 

මන්ද යත්, එක එක ගියර් එකේ ලබා ගත හැකි උපරිම වේගයක් තිබේ. 1,2 ආදී ගියර් වලට වඩා 4,5 ගියර් වලදී  ලබා ගත හැකි වේගය වැඩිය. මැනුවල් රථ වල නම්, එක ගියරයක උපරිම සීමාවට එළැඹු පසු අනිත් ගියරයට දැමීම රියදුරා විසින් කළ යුතුය. ස්වයංක්‍රීය රථ වල මෙය මෝටර් රථ මඟින් ස්වයංක්‍රීයව කෙරේ.

 ස්වයංක්‍රීය රථයක් පැදවීම ඉතා සරලය. එවැන්නක් පැදවීම මට නම් සෙල්ලම් බඩුවක් හා විනෝද වීමකට සමාන කළ හැකිය. ක්ලව් එක හා ගියර් පොල්ල පිළිබඳ සියලු දේ අමතක කර රිසි සේ දෑතම සුක්කානම මත තබා ධාවනය කල හැකිය. මෙසේ  පැදවීමේ පහසුව තකා, කාන්තාවන් අති බහුතරයක් ඔටෝ ගියර් රථ වලට පුරුදු වී තිබේ.  නමුත් මැනුවල් රථයක් මිට වඩා වෙනස්ය. මෝටර් රථය ධාවනය කරන විට එහි වේගයට අදාළව  ගියර් මාරු කිරීම රියදුරා විසින් කළ යුතුවේ.

ගියර් දැමීමේදී ක්ලච් එකද පෑගිය යුතුය. ගියර් දමා  අවසන් වූ විට ක්ලච් එක අතහරිය යුතුය. එවිට ඊට සමගාමිව අක්සලේටරය ද පෑගිය යුතුය. මෙය සංකීර්ණ ක්‍රියාවක් සේ පෙනුනද, පුරුදු වූ පසු එය ඔබ නොදැනුවත්වම සිදු වේ.  

අලුතෙන් රියදුරු බලපත් ලබා ගන්නා බොහෝ දෙනෙක් ඔටෝ ගියර් රථ වලට යොමු වීමක් පෙනීමට තිබෙන්නේ මැනුවල් වාහන සංකීර්ණ ලෙස පෙනෙන නිසා විය හැකිය.

නමුත් සමහරක් දෙන නොදන්නා දෙයක් වනුයේ, ස්වයංක්‍රීය රථයකින් ට්‍රයල් පෙන්වූ කෙනෙකුට ලැබෙන්නේ ඔටෝ ගියර් බලපත්‍රයක බවත්, එමඟින්  කිසිම හේතුවක් මත, මැනුවල් රථයක් පැදවීමට වරම් නොලැබෙන බවත්ය. එනිසා කෙසේ හෝ පුරුදු වී මැනුවල් රථයකින් ට්‍රයල් පෙන්වා මැනුවල් බලපත්‍රයක් ගැනීමේ වාසි රැසක් තිබේ.

බොහොමයක් කුඩා  කාර් රථ  පැමිනෙන්නේ මැනුවල් මාදිලියෙනි.. ඒවා අතර මරුටි 800, ඇල්ටෝ සහ මයික්‍රෝ පැන්ඩා රථ වෙයි. බලපත්‍ර ලබාගත් විගස බොහෝ දෙනා කුඩා රථයක් මුලින් පැදවීමට ප්‍රිය කරන අතර, බලපත්‍රය ස්වයංක්‍රීය එකක් නම, මරුටියක් වැනි කුඩා රථයක් පැදවීමේ අවස්ථාව ඔබට අහිමි වී යයි.

මැනුවල් රථයක් පැදවීම ඔටෝ රථයකට වඩා පෙනුමින් සංකීර්ණ වුවත්, මැනුවල් රථ වල බොහෝ වාසි තිබේ. අපි දැන් එවැනි වාසි කිහිපයක් ගැන සලකා බලමු.

අප අතර සිටින බොහෝ දෙනෙක් වාහනයක් මිලට ගැනීමට පෙර එහි ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන සොයා බලයි. එහෙම අයට ගැලපෙන්නේ මැනුවල් රථයකි. මන්ද යත් මැනුවල් රථ  ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි නිසාය.   

රියදුරා විසින්ම ගියර් මාරු කරන නිසා, එන්ජිම උපරිම RPM එකට ඒමට පෙර ඉහල ගියරයට දැමීමෙන්, වඩා හොඳ ඉන්ධන කාර්යක්ෂමතවක් ලබා ගත හැකිය. නමුත් ඔටෝ  ගියර් වාහනයක් නම් බොහෝ විට ගමන් කරන්නේ එහි වේගයටම අදාළ වූ ගියර් එකේම පමණි. නමුත් මෙසේ වේගයටම අදාළ ගියරයේම ගමන් කිරීම සෑමවිටෙකම අත්‍යවශ්‍ය දෙයක් නොවේ. උදාහරණයක් ලෙස, ඔබට තෙවැනි ගියරයේ ගමන් කර හැකි උපරිම වේගය 40ක නම්, ඔබ 40 පන්න පසු 4 ගියරයටද, 40 ට අඩු වේග වලදී 3 ගියරයේද ය යුතුය. ස්වන්ක්රිය රථයක් නම් මෙම සංකල්පය හොඳින් අනුගමනය කර අදාල වූ ගියර් වල පමණක්ම ගමන් කරයි.

නමුත් ඔබට මැනුවල් රථයක නම්, 30 දීද 4 වැනි ගියරට දමා යා හැකිය. එවිට එන්ජිම කරකැවෙන වේගය අඩුවී ඉන්ධන කාර්යක්ෂමතාව හොඳින් සිදු වේ. නමුත් මෙය ස්වන්ක්රිය රථයක සිදු නොවන නිසා ඔබට එසේ ඉන්ධන කාර්යක්ෂම තවක් ලබා ගත නොහැක.

මැනුවල් රථයක පාලනයේ වැඩි බරක් රියදුරා මත තිබෙන නිසා හැසිරවීම අතින් මැනුවල් රථ වඩාත් ඉදිරියෙන් සිටී. උදාහරණයක් ලෙස  හොඳින් වංගු ඇති මාර්ග වල ඔබට බය නැතුව මැනුවල් වාහනය පදවා යා හැකිය. වංගුවක් එළඹෙන විට අඩු ගියරයකට මාරු කිරීමෙන්, බ්රේක් නොපාගා  වුවත් එන්ජිමේ බරට වාහනයේ වේගය අඩුවේ. එවිට සුක්කනමෙන් හොඳින් වාහනය හරවා ගත හැකි අතර ඉතා හොඳ පාලනයක් තිබෙන බව රියදුරාගේ දෑතට දැනේ. නමුත් ස්වයංක්‍රීය රථයක නම්, වේගය අඩු කිරීමට අනිවාර්යෙන්ම බ්රේක් පෑගිය යුතුවේ. එමෙන්ම, වංගුවක්   එළඹෙන බව වාහය නොදන්නා නිසා ගියර් මාරු කරගෙන ඊට සුදානම් වීමක් සිදු නොවේ.

මැනුවල් රථ වල ඔටෝ ඒවාට සාපේක්ෂව බ්රේක් පෑඩ් ගෙවෙන්නේ සෙමෙනි. මැනුවල් රථ වල බ්රේක් පෑගීමෙන් තොරව, ගියර් මාරු කිරීමෙන්ම පමණක් වුවද වේගය අඩු කර හැකිය. පල්ලම් බසිමේදී මෙය ඉතාමත් වාසි දායක දෙයකි. නමුත් ඔටෝ වල නම් කොයි වෙලෙත් බ්රේක් පෑගිය යුතු නිසා බ්රේක් පෑඩ් ඉක්මනින් ගෙවී යයි. ඒවිතරක් නොවේ, ඔටෝ ගියර් රථ  නවතාගෙන සිටින විටදී ද, බ්රේක් පාගා ගෙන සිටිය යුතුවේ.

මැනුවල් රථ වල වෙළඳපොළ මිල සාපේක්ෂව  අඩුය. ඔටෝ රථ වලට වෙනම තාක්ෂණයක් අවශ්‍ය බැවින් ඒවා මිලෙන් වැඩි වේ.

මාගේ අත්දැකීමට අනුව නම් වඩාත් විනෝද විය හැක්කේ මැනුවල් රථයක් පදවිමෙනි. අක්සලේටරය පමණක් පාගා ගෙන සිටිනවාට වඩා, ගියර් දමමින්, අවශ්‍ය ආකාරයට වේගය හැසිරවිය හැක්කේ මැනුවල් රථයකිනි. ඔටෝ රථයක ඔහේ සුක්කානම කරකවමින් පමණක් යාම කම්මැලි සහගත විය හැකිය. එබැවින් මැනුවල් රථයක ගියර් දැමීම ආදී දේවලට සිත යොමුවන විට රිය පැදවීම වඩාත් විනෝදාත්මක වේ.

 පිකප් එක අතින් ගත්තත් මැනුවල් රථ වල පිකප් එක ඔටෝ ඒවාට වඩා වැඩිය. අප යන ගියර් එකේ පිකප් එක අඩුයි කියා සිතේ නම්, වහාම පහල ගියර් එකට දමා හොඳ පිකප් එකක් ලබා ගත හැකිය.  එබැවින් ක්ෂණිකවම තවත් රථයක් ඉස්සරකිරීම  මැනුවල් රථයකින් ඉතා පහසුවෙන් කර හැකිය. නමුත් ඔබ වාහනයක් ඉස්සර කිරීමට යන බව නොදන්නා ඔටෝ ගියර්  මෝටර් රථය, ඊට ලැස්ති නොවී  පැමිණි   ගියරයෙන්ම ගමන් ගනී. එවිට වාහනයේ පිකප් එක අඩු වීම නිසා තවත් රථයක් ඉස්සර කිරීම ස්වයංක්‍රීය රථයකින් අපහසු වේ.

මේවා මැනුවල් රථ වල පවතින වාසිය. ඔටෝ රථ වලද මිට සමගාමිව බොහෝ වාසි තිබේ. දැන් ඒවා 

ඔටෝ ඒවායේ ගියර් මාරු කිරීමට සිත යොමු කිරීම අවශ්‍ය නොවන නිසා, මාර්ගය වෙත වැඩි අවධානයක් යොමු කිරීමට හැකි වීම මෙහි ප්‍රධානතම වාසියකි. එමෙන්ම දෑතම සුක්කානම මත තබාගෙන ආරක්ෂාකාරී රිය පැදවීමට අවස්ථාව ලැබේ.

මාර්ග තදබදය අධික විට ස්වයංක්‍රීය රථයක අවශ්‍යතාවය බොහෝ දෙනෙකුට සිහිපත් වේ. අඩියෙන් අඩියට ගියර් මරුකිරිමේදී, ක්ලච් එක පෑගීමට අවශ්‍ය බැවින් එය පාද වලට දැඩි වේදනාකාරී විය හැකිය. ආතරයිටිස් රෝගය ඇති බොහෝ දෙනෙකුට මෙය ප්‍රශ්නයක් වන බැවින් ඔවුන්ට ඔටෝ රථයක් පැදවීම වඩාත් සුවපහසු විය හැකිය. 

එපමණක් නොවේ, කඳු සහිත ප්‍රදේශ වලද නිතරම ගියර් මාරු කිරීම සිදු කල යුතු අතර, ක්ලච් බැලන්ස්  නොමැති නම්, රථය පිටුපසට පැමිණීම වලක්වා ගැනීම අසීරු වේ. මෙවැනි ගැටළු ඔටෝ රථයක නොමැත. රථය පිටුපසට පැමිණීම ඔටෝ රථයක ස්වයංක්‍රීයව  වැළකේ.

ඔටෝ රථ වල වෙළඳපොල මිල වැඩි බැවින් නැවත විකිණීමේදී මැනුවල් රථයකට සාපේක්ෂව ඉහල මිලකට විකුණා දැමිය හැකිය. 

ඔටෝ සහ මැනුවල් රථ වල ප්‍රධානම වෙනස එහි ගියර් මාරු කිරීමයි. එනම් එය ස්වයංක්‍රීයව  ද, රියදුරාගේ විසින් සිදු කරයිද යන්න වේ. කෙසේ වෙතත් කුමන රථයක් වුවත් ඔබව අවශ්‍ය තැනට රැගෙන යයි. මේ ලිපිය වුයේ ඔටෝ සහ මැනුවල් වල වෙනස්කම් සහ ඒ ඒ රථ වල වාසි කුමක්දැයි පෙන්වා දීමයි.

නමුත් මේ දෙවර්ගයම පැදවීමට ඉගෙන ගෙන තිබීම මුළු ජිවිතයටම වටිනා අවශ්‍යතාවයකි. මැනුවල් රථයක ඉගෙන ගැනීමට අවශ්‍ය වන්නේ, ඔටෝ එකකට වඩා බොහොම පොඩි පුහුණුවක් පමණයි. ඔබ ඔටෝ රථයක්ම මිලදී ගත්තත් මැනුවල් රථයක්ද පැදවීමට ඉගෙන ගෙන සිටීම බොහොම වැදගත් දෙයකි. අප කාටත් හදිසි අවශ්‍යතා ඇති වේ. හදිස්සියකට යාලුවෙක්ගෙ, නෑදයෙක්ගේ වාහනයක්  වුවත් ඉල්ලගෙන යන්න පුළුවන් වෙන්නේ එක පදින්න පුළුවන් වුනොත් පමණයි. කරුමෙකට වත් එක මැනුවල් වෙලා, ඔබට මැනුවල් පදින්නේ තේරෙන්නේ නැත්නම්, ඒ මිනිස්සුත් ඔබට වාහනය ලබා දෙන්නේ සිතේ අසතුටින්. ඒවගේම ඔබත් ගමන යන්නේ අසතුටින්. ඒ නිසා කුමන වාහනයක් වුවත් පැදවීමට දැනගැනීම ඉතා අවශ්‍ය දෙයක්. . 






















මයික්‍රොසොෆ්ට් වර්ඩ් - එකතු කළ රූපයක් කරකැවීම - Rotating images in microsoft word

මයික්‍රොසොෆ්ට් වර්ඩ් මගින් ලිපිගොනුවකට එක් කල රූපයක  දිග පළල වෙනස් කිරීම මෙන්ම එය ඔබට අවශ්‍ය ලෙස කරකවිමට ද හැකිය. එය ඉතා පහසු ක්‍රියාවකි. 

 ප්‍රථමයෙන්ම ඔබට අවශ්‍ය රූපය මත එක වරක් ක්ලික් කරන්න.එවිට පහත රුපයේ මෙන් රුපය වටේ සුදු තිත් කිහිපයක් මතු වනු ඇත. එම සුදු තිත් මා නිල් පැහැති ඊතල වලින් දක්වා ඇත.




නමුත් මෙහි කොළ පැහැති ඊතලය දෙස අවධානයෙන් බලන්න.. එය යොමු වන්නේ කුඩා කොළ පැහැති තිතකටය. ඔබ ප්‍රවේසමෙන් නිරීක්ෂණය කරතොත් ඔබටත් එවැනි කොළ පැහැති තිතක් ඔබේ රූපයේ ඉහල කොටසේද ඇති බව දක්නට හැකි වේ. 

මෙම කොළ පැහැති තිත මතට මචුස් පොයින්ටර් එක ගෙන ගිය විට එය "කරකවුනු ඊතලයක්" බවට පත්වේ. දැන් මෙම කොළ පැහැති තිත මත ක්ලික් කරගෙනම මවුස් එක වමට හෝ දකුණට  අදින්න. එවිට රූපයද මවුස් එක ගෙනයන දෙසට කරකැවෙන බව ඔබට දැකගත හැකිය. 

රුපය ඔබට අවශ්‍ය ලෙස කරකවුනු පසු මවුස් බට්න් එක අතහරින්න. එවිට රූපය කරකැවී එසේම පවතී.

පහත උදාහරණයේ දැක්වෙන්නේ එසේ මදක් දක්ෂිණාවර්තව කරකවන ලද රූපයකි.


මයික්‍රොසොෆ්ට් වර්ඩ් - එකතු කළ රූප සංස්කරණය කිරීම - Editing images in microsoft word

මීට පෙර ලිපියෙන් අප කතා කලේ වර්ඩ් ලිපිගොනුවකට රූපයක් එක්කරගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ඒ සම්බන්දව ඔබට මේ වනවිට ගැටළුවක් නැතැයි අපි උපකල්පනය කරන්නෙමු. රූපයක් එකතු කර පමණින්ම, අපගේ පාඩම් මාලාව අවසන් වන්නේ නැත. එක් කළ රූපයේ දිග පළල වෙනස් කිරීම, අවශ්‍ය තැන වලට ගෙනයාම, අනවශ්‍ය කොටස් කපා දැමීම, රූප රාමු කිරීම, ආදී දේ සම්බන්ධව ද  ඔබ දැන ගත යුතුය. මේ පාඩම් මාලාව වෙන් වන්නේ ඒ සඳහාය.

රුපයක දිග පළල වෙනස් කිරිම.

ඔබ වර්ඩ් ලිපිගොනුස්වකට රූපයක් එකතු කළවිට එය පහත උදාහරණයේ මෙන් දිස්විය යුතුය. මා මේ සඳහා උදාහරණයක් ලෙස ගන්නේ මලක රූපයකි. 

ප්‍රථමයෙන්ම රූපය මත එක් වරක් ක්ලික් කරන්න.

එවිට රූපය වටේ කුඩා සුදු තිත් වගයක් මතු වන බව දැක ගත හැකිය. මෙම උදාහරණයේ ඊතල වලින් සලකුණු කර ඇත්තේ එම තිත්ය. 



 එම කුඩා තිත් මත ක්ලික් කරගෙනම මවුස් එක අදින විට රූපයේ දිග පළල වෙනස් කර ගත හැකිය. මෙහිදී ඔබ මතක තබා ගත යුතු වන්නේ ක්ලික් කර මවුස් බට්න් එක තද කරගෙනම (එය අතහරින්නේ නැතිව) ඇදිය යුතු බවයි.)

දිග පමණක් වෙනස් කිරීමට නම්, දකුණු හෝ වම් පස ඇති තිත් වලින් දකුණට හෝ වමට ඇදිය යුතුය.
උස පමණක් වෙනස් කිරීමට ඉහලින් හෝ පහලින් ඇති තිත් වලින් ඇදිය යුතුය,
\
නමුත් මෙහිදී රුපයේ පෙනුම අසාමාන්‍ය ලෙස වෙනස් වේ. මන්ද යත්, උසට සාපේක්ෂව දිග හෝ, දිගට සාපේක්ෂව උස හෝ වෙනස් නොවන නිසාය. පහත උදාහරණයේ දැක්වෙන්නේ එසේ පළල පමණක් අඩු කලවිට ඉහත ලස්සන රුපය අවලස්සන වී ඇති ආකාරයයි.



නමුත් දිග සහ පළල  එකම ප්‍රමාණ වලින් වෙනස් කිරීමට නම් ඔබ ඇදිය යුත්තේ කොන් සතරේ ඇති තිත් වලින්ය. මෙහිදී එක් කොනක ඇති තිතකින් පමණක් දීම ප්‍රමාණවත්ය. 

පහත රූපය බලන්න, එහි දිග සහ පළල සාපේක්ෂව සමාන ප්‍රමාණ වලින් අඩු කර ඇති නිසා,  රුපය අවලක්ෂණ වීමකින් තොරව කුඩා වී ඇත.






Friday, July 29, 2016

මයික්‍රොසොෆ්ට් වර්ඩ් - පින්තුර එකතු කිරීම - How to insert pictures

මයික්‍රොසොෆ්ට් වර්ඩ් සමග වැඩ කිරීමේදී අපට ලිපිගොනුවලට විවිධ පින්තුර සහ ඡායාරූප එකතු කිරීමට සිද්ධ වෙනු ඇත. එය අත්‍යාවශ්‍යයෙන්  දැන සිටිය යුතු මෙන්ම, හොඳින් ප්‍රගුණ කළයුතු  ද දෙයකි. මන්ද යත්, වචන දහසක් කියවෙන රූපයක් හරියට තේරුම් ගත හැකිවන්නේ, එම රූපය ලසස්නට යොදා තිබුනොත් පමණක් නිසාය.

ප්‍රථමයෙන්ම File මෙනුවේ ඇති  Open ක්ලික් කර  ඔබ කැමති ලිපි ගොනුවක විවෘත කර ගන්න. එසේත් නැත්තනම්, File මෙනුවෙන්  New  ද, ඉන්පසු එහි මතුවන මෙනුවෙන් Blank Document ද  ක්ලික්  කර නව ලිපි ගොනුවක් ආරම්භ කරන්න.

දැන් මෙම ලිපිගොනුවට ඔබට  පරිගණකයේ තිබෙන රුපයක් එකතු කිරීමට අවශ්‍ය යයි සිතන්න.


ඒ සඳහා, ඉහත රුපයේ මෙන්, Insert tab එක මත ක්ලික් කරන්න. එවිට පහත රුපයේ මෙන් පෙනෙනු ඇත. ඉන්පසු, එම Insert  tab එකේ ඇති Picture මත ක්ලික් කරන්න. 


එවිට ඔබට ඔබේ පරිගණකයේ ඇති රුපයක් තොර ගැනීමට සලස්වන Open ඩයලොග් බොක්ස් එක විවෘත වනු ඇත.





දැන් ඔබේ පරිගනයකේ ඔබට  එකතු කිරීමට අවශ්‍ය, රූපය තිබෙන තැනට යන්න. ඉන්පසු, අවශ්‍ය රූපය මත ක්ලික් කර, Insert බට්න් එක මතද ක්ලික් කරන්න. එවිට රුපය වර්ඩ් ලිපිගොනුවට එකතු වනු ඇත.

රුපයක් සඳහා මා නම් තෝරා ගත්තේ මල් පොකුරකි, දැන් එය මගේ ලිපිගොනුවට එකතු වී ඇති අන්දම ඔබට පහත පෙනෙනු ඇත.



සමහර විටක රුපය එකතු වුයේ ඔබට අවශ්‍ය වූ තැනට නොවනු ඇත. ඊට හේතුව වන්නේ, සෑම විටෙකම රුපය එකතු වන්නේ, ඔබේ කර්සරය ඇති තැනට බැවිනි. ඒ නිසා, රුපය එකතු කිරීමට මත්තෙන්, ඔබට අවශ්‍ය තැනක් මත ඩබල් කිල්ක් කර, එතනට කර්සරය ගෙන එන්න. ඉන්පසු රුපය එකතු කරන්න.




Tuesday, July 26, 2016

මයික්‍රොසොෆ්ට් වර්ඩ් - මුද්‍රණය කිරීම - Printing

මයික්‍රොසොෆ්ට් වර්ඩ් මගින් අප සාදා ගන්න ලිපිගොනු මුද්‍රණය කිරීම ඉතාම පහසුවෙන් මුද්‍රණය කර ගත හැකිය. අද ලිපියෙන් අප කතා කරන්නේ එසේ යම් ලිපියක් මුද්‍රණය කර ගන්නේ කෙසේ දැයි කියායි. 

නමුත් මේ සෑම දෙයකටම මත්තෙන් ඔබේ පරිගණකයේ මුද්‍රණ යන්ත්‍රයක් ස්ථාපනය කර තිබිය යුතුය.

ප්‍රථමයෙන්ම FILE  මෙනුවෙන් OPEN තෝරාගෙන ඔබට අවශ්‍ය ලිපි ගොනුවක් විවෘත කර ගන්න.


දැන් මෙහි FILE ක්ලික් කර මතුවෙන මෙනුවෙන් PRINT ක්ලික් කරන්න. 



මුද්‍රණ යන්ත්‍රයක් තෝරා  ගැනීම.


එවිට පහත දැක්වෙන ලෙසට තවත් මෙනුවක් දර්ශනය වේ. එහි කොටු කර ඇති ප්‍රදේශයේ ඔබේ ප්‍රින්ටරය පෙන්විය යුතුය. එසේ පෙන්වන්නේ නැත්නම්, එහි ඇති කුඩා ඊතලය ක්ලික් කර එන මෙනුවෙන් ඔබේ ප්‍රින්ටරය තෝරා ගන්න.


පිටු සම්බන්ද තොරතුරු දැක්වීම.


ඉන්පසු කළ යුත්තේ ඔබට මුද්‍රණය කිරීමට අවශ්‍ය පිටු සම්බන්ධ තොරතුරු දැක්වීමයි.ඔබට පිටු සියල්ලම මුද්‍රණය කිරීමට අවශ්‍ය නම්, එසේ වෙන වෙනම දැක්විය යුතු නොවේ.


ඉහත රුපයේ මෙන්, Print Custom Range යන බට්න් එක මත ක්ලික් කර පසු ඔබට ඉහත දැක්වෙන්නක් සේ තවත් මෙනුවක් දර්ශනය විය යුතුය. එහි පළමුවන තේරීම නම්, Print All Pages යන්නයි. එය මත ක්ලික් කිරීමෙන් පිටු සියල්ලක්ම මුද්‍රණය කර ගත හැකිය.

එමෙන්ම, 

Print Selection - ක්ලික් කිරීමෙන්, ඔබ Highlight කර ඇති කොටසක් පමණක් මුද්‍රණය කර ගත හැකිය.
Print Current Page - දැනට කර්සරය තිබෙන පිටුව පමණක් මුද්‍රණය වේ.
Print Custom Range -  මෙමගින් ඔබට අවශ්‍ය පිටු පමණක් මුද්‍රණය කර ගත හැකිය. ඒ සඳහා එම පිටු වල අංකයන් කොමා මගින් වෙන් කර එහි ටයිප් කර යුතුය. උදාහරණයක් ලෙස. ඔබට දෙවැනි, පස්වැනි සහ නවවැනි වැනි පිටු මුද්‍රණය කිරීමට අවශ්‍ය නම්, පහත දැක්වෙන ලෙස Print Custom Range යන්න ක්ලික් කර,  ඉන්පසු ලැබෙන හිස්තැනෙහි පහත දැක්වෙන ලෙස ටයිප් කර යුතුය. 


එක් පැත්තක හෝ දෙපැත්ත මුද්‍රණය කිරීම.


 සාමාන්යෙන් අප මුද්‍රණය කරනු ලබන්නේ හාෆ් ශීට් කොලයේ තනි පැත්තේය. නමුත් ඇතැම් අවස්ථාවන්හිදී අපට දෙපත්තේම මුද්‍රණය කිරීමට සිදුවේ. එවැනි අවස්ථාවක බොහෝ දෙනා කරන්නේ  පිටුවක්  මුද්‍රණය කර    කොලය මුද්‍රණ යන්තරයට අනික් පැත්ත හරවා ඇතුලත් කර නැවතත් ප්‍රින්ට් කොමාන්ඩ් එක දීමයි. එය ඉතා අසීරු කටයුත්තකි. නමුත් මෙම බට්න් එක ක්ලික් කර ඇති විටෙක, පරිගණකය ස්වයංක්‍රීයව පිටුවක් හැර පිටුවක් මුද්‍රණය කර, අවසානයේ ඔබට පිටු සියල්ලම අනිත් පැත්ත හරවා මුද්‍රණ යන්ත්‍රයට දැමීමට අණ කරයි. 

එවිට ඔබ අර්ධ ලෙස  මුද්‍රණය වූ පිටු ටික නිවැරදිව ඇතුලත් කර පසු, ඉතුරු පිටු ටික මුද්‍රණය වේ. එක වර පිටු විශාල ගණනක් මුද්‍රණය කරන්නේ නම් එය ඉතා පහසු කාර්යයක් වනු ඇත.

මේ සඳහා කල යුත්තේ, පහත දක්වා ඇති කොටසේ අංග වන, Print One Sided  හෝ  Manually Print On Both Sides යන ඒවායින් ඔබට අවශ්‍ය දේ ක්ලික් කිරීමයි.





Collated අංගය ගැන දන ගනිමු.



සිතන්න ඔබ පිටු 400 යක පමණ විශාල පොතක් යහළුවන්මු දෙදෙනෙක්ට දීමට පිටපත් දෙකක් බැගින් මුද්‍රණය කිරීමට සුදානම් වන්නේ යයි. ඔබට එය ආකාර දෙකකින් මුද්‍රණය කර හැකිය. එනම්, 

1. ප්‍රථමයෙන් එක පොතක් මුද්‍රණය අවසාන කර අනෙක් පොත මුද්‍රණය කිරීමට පටන් ගැනීම. 

2. එසේ නැත්නම්. සෑම කොලයකින්ම එකවර පිටපත් දෙකක් බැගින් ගසා, පසුව ඒවා වෙන් කර පොත් දෙක සාදා ගැනීම. උදාහරණය ලෙස, 1 පිටුවෙන් පිටපත් දෙකක්ද, 2 පිටුවෙන් පිටපත් දෙකක්ද බැගින් මුද්‍රණය වේ.



ඔබ මෙම අංගයෙහි, Collated ක්ලික් කර ඇති විට මුද්‍රණය වන්නේ පලමු ආකාරයෙන්ය. Uncollated ක්ලික් කර ඇති විට දෙවැනි ආකාරයට මුද්‍රණය වේ.

Portrait සහ Landscaping ගැන දැන ගනිමු.





ඔබට ඉහත රුප වල වෙනසක් පෙනේද?  ඔබ Portrait Orientation යන්න තෝරා ගත් විට පළමු වන ආකාරයටත්, Landscape යන්න තෝරා ගත් විට දෙවැනි ආකාරයටත් මුද්‍රණය වේ,

පිටුවේ ප්‍රමාණය සැකසීම.


පහත පෙන්වා ඇති බට්න් එකෙන් කෙරෙන්නේ අපට අවශ්‍ය පිටුවේ ප්‍රමාණය තොර ගැනීමයි. සාමාන්‍යන් ලංකාවේ බහුලව භාවිත වෙන්නේ A4 ප්‍රමාණයේ කොලයි. එබැවින් පහත කොටු කර ඇති බට්න් එක ක්ලික් කර ඉන් A4 තොරා  ගන්න. 


මෙසේ නොකරන්නේ නම්, ඔබ මුද්‍රණ යන්ත්‍රයට ඇතුලත් කරන කොලයේ ඔබට අවශ්‍ය අන්දමට වඩා කුඩාවට හෝ විශාලව මුද්‍රණය වේ. එබැවින් මෙය වැදගත් කටයුත්තකි.

Margin එක සැකසීම.


මුද්‍රණය කරන පිටුවේ ඉහල,පහල, වම සහ දකුණ කොටස් වලින් අප යම් කිසි ඉඩක් ඉතුරු කර යුතුය. පිටු ඇමිණීම, ගානට කැපීම, ආදී කාර්යයන් සඳහා එසේ ඉඩ ඉතුරු කිරීම අවශ්‍ය වේ. මේ සඳහා ඉතුරු කර යුතු ඉඩ ප්‍රමාණය දැක්වෙන්නේ මෙම අංගයෙනි.. සාමාන්යෙන් එය වෙනස් කිරීම අවශ්‍ය නොවේ.  

කොළයකට අවශ්‍ය පිටු ගණන.


ඔබට එක හාෆ් ශීට් කොලයකට පිටු ගණනාවක් කුඩා කර මුද්‍රණය කිරීමට අවශ්‍ය නම් මෙම බට්න් එක ක්ලික් කර ඊට අවශ්‍ය අංගය තෝරාගන්න.

මුද්‍රණය කිරීම.


දැන් ඔබ පැමිණ ඇත්තේ අවසාන කොටසටයි. පහත රුපයේ පෙන්වා ඇති පරිදි ඔබට අවශ්‍ය පිටපත් ගණන මින් තෝරා ගන්න.. 

ඉන්පසු ඔබට කිරීම ඇත්තේ නැවතත් පහත රුපයේ ඇති පරිදි විශාල ප්‍රින්ට් බට්න් එක ක්ලික් කිර්මයි. එවිට ඔබට අවශ්‍ය පරිදි සහ ඔබ විසින් සකසා ඇති පරිදි මුද්‍රණය වීම සිදුවේ.



ගැටළු නිරාකරණය.


ඇතැම් අවස්ථාවලදී, ඔබ මුද්‍රණය වීමට අවශ්‍ය කොමාන්ඩ් එක ලබා දුන්නත් මුද්‍රණය වීමක් සිදු නොවිය හැකිය, එවැනි අවස්ථාවක පහත දේ පිමිබන්ද අවධානය යොමු කරන්න.

1. මුද්‍රණ යන්ත්‍රයේ USB කේබල් එක ගලවා තිබිය හැකිය.
2. මුද්‍රණ යන්ත්‍රය ක්‍රියා විරහිත වී තිබිය හැකිය.
3. මුද්‍රණ යන්ත්‍රයේ තීන්ත ඉවර වී තිබිය හැකිය.
4. කොළ අවසන් වී හෝ සිරවී තිබිය හැකිය.
5. කොළ සිර වී තිබිය හැකිය.
6. මුද්‍රණ යන්ත්‍රයේ උඩු පියන විවෘත කර හෝ කොළ එලියට පැමිණෙන ට්‍රේ  එක වසා තිබිය හැකිය.







Friday, July 22, 2016

මයික්‍රොසොෆ්ට් වර්ඩ් සිංහලෙන් - බට්න්ස් ගැන තව දුරටත් - කොටස 3


තිරයේ පහල දකුණු කෙලවර දෙස බැලුවිට ඔබට පහත ආකාරයේ සැකැස්මක් දැකගත හැකි වනු ඇත. එහි ඇති බ්ට්න්ස් පිළිබඳව අප දැන් දන ගනිමු.

Word 2013 
Word 2007

ඔබේ මොනිටරයේ තිරය කුඩා නම්, ඔබට මෙහි ඇති විශාලන කිරීමේ ධන හෝ ඍණ ලකුණු මත ක්ලික් කිරීමෙන් ඔබට දිස්වන ප්‍රමාණය අඩුවැඩි කර ගත හැකිය. එසේත් නැත්නම්, මැද ඇති කුඩා ඊතලය වමට ගෙන යාමෙන් පිටුව කුඩා කරගැනීමටත්, දකුණට ගෙන යාමෙන් විශාලනය කරගැනීමටත් ඔබට හැකිය. සාමාන්යෙන් මෙය 100% ලෙස පවතී.

වර්ඩ් 2007 වල නම්, ඉහත සඳහන් කර විශාලනය කිරීමේ බටන්ස් වලට මදක් ඉහලින්, ඉහලට සහ පහලාට යොමු වුනු  තවත් ඊතල දෙකක් දිස්වේ. ඒවා මගින් පිටුව ඉහලට සහ පහලට ගෙන යාම  සිදුවේ.  ඒ බ්ට්න්ස් දෙක මැද ඇති රවුම ක්ලික් කිරීමෙන් (පහත රුපය බලන්න) විවධ දේ පහසුවෙන් කර ගත හැකි ShortCuts නමින් හඳුන්වන තවත් මෙනුවක් විවෘත වේ. ඒවාට අදාල ක්‍රියාවන් මවුස් එකේ ඊතලය  මතට ගෙන යාමෙන් ඔබට දැන ගත හැකි වේ..


------------------------------------------------------------

ඉහත ලිපිය උපුටා හෝ වෙනස් කර වෙනත් කිසිදු  මාධ්‍යයක හෝ ස්ථානයක මාගේ අවසරයකින් තොරව පල කිරීම නීතිමය වශයෙන් තහනම් බව කරුණාවෙන් සලකන්න. 

දේශාන් වලල්ලාවිට
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.



මයික්‍රොසොෆ්ට් වර්ඩ් සිංහලෙන් - විවෘත කර ගැනීම සහ සාමාන්‍ය සැකැස්ම - කොටස 2

මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගයෙන් වැඩ ගැනීමට පෙර එය ඔබේ පරිගණකයේ විවෘත කර ගත යුතුය. නමුත් එය  කරනා ආකාරය එක් එක්  වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය අනුව වෙනස් වේ. එබැවින් ඒ සඳහා ඔබේ මෙහෙයුම් පද්ධතිය කුමක්දැයි ඔබ දැන සිටිය යුතුය.

ඔබ වින්ඩොව්ස් XP, Vista හෝ Seven පරිශීලකයෙක් නම්,


  • Start Button එක මත ක්ලික් කර All Programs වෙත යන්න. ඉන් පසු එන මෙනුවෙන්, මිMicrosoft Office තෝරා ගන්න. 
  • එම මෙනුවේ Microsoft Word නම්, තේරීම ක්ලික් කරන්න.
  • එවිට Microsoft Word  විවෘත වෙනු ඇත.


මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය විවෘත වූ පසුව, ඔබට එහි මැද විශාල සුදු අවකාශයක් දැකගත හැකිය. ඔබ සියලුම නිර්මාණයන් හා ලිපිලේඛන යතුරු ලියනය කරනු ලබන්නේ මෙම සුදු අවකාශයේය. එය සුදු පැහැති කොලයකට සම කල හැකිය.




සුදු අවකාශයට ඉහලින් ඇති කොටස හඳුන්වනු ලබන්නේ රිබන් එක නමිනි. එය ඇත්තෙන්ම අලංකාර රිබන් එකක් මෙන් දිස්වේ.. ටයිප් කිරීමේදී අකුරු වල ප්‍රමාණය, වර්ගය, පින්තුර, වගු  එකතු කිරීම, ව්‍යාකරණ නිවැරදි කිරීම ආදී සැම ක්‍රියාවකටම අදාල බටන්ස් ඇත්තේ මෙම රිබන් එකෙහිය.

රිබන් එක Tabs නමින් තවත් කොටස් වලට බෙදා තිබේ. ඒවා නම්, Home, Insert, Page Layout, Referrence, Mailing ආදිය වේ.

එම එක් එක් Tab එක මත ක්ලික් කර ඒවායේ ඇත්තේ කුමන කුමන buttons දැයි  විමසා බලන්න. එක එක බට්න් එක මතට ඔබේ මවුස් එකේ ඊතලය ගෙන ගිය විට ඊට අදාළ නම දිස්වනු ඇත.

මෙසේ එක් එක අංගය විපරම් කර පසු නැවතත් ඔබ Home tab එක වෙත පිවිසෙන්න. අපට අත්‍යවශ්‍ය බොහෝ බටන්ස්  මෙම tab eke පවතී. එනම්, ormatting, alignment, cut, copy and paste ආදියයි. එම එක් එක් බටන් එකෙන් වෙන කාර්යය අප පසුව විමසා බලමු.

------------------------------------------------------------

ඉහත ලිපිය උපුටා හෝ වෙනස් කර වෙනත් කිසිදු  මාධ්‍යයක හෝ ස්ථානයක මාගේ අවසරයකින් තොරව පල කිරීම නීතිමය වශයෙන් තහනම් බව කරුණාවෙන් සලකන්න. 

දේශාන් වලල්ලාවිට
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.








මයික්‍රොසොෆ්ට් වර්ඩ් සිංහලෙන් - Save කරන ආකාරය

අපි යම් කිසි ලිපියක් හෝ වෙනත් නිර්මාණයක් කරමින් සිට මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය, හදිසියේ හෝ යම් හෙයකින් වසා දමන්නේ යයි සිතන්න. නමුත් අපට එම ලිපිය හෝ නිර්මාණය නැවතත් යම් දිනක නැරඹිමට  අවශ්‍ය වේ  . එසේ නම් ඒ සඳහා එම ලිපිය අපට නැවතත් විවෘත කර ගැනීමේ  හැකියාව තිබිය යුතුය..

ඇත්තෙන්ම ඒ පහසුකම මයික්‍රොසොෆ්ට් වර්ඩ් තුල ලබා දී ඇත. ඔබ යම් කිසි කාර්යයක් කරමින් සිටින්නේ එය නැවත යම් දිනක ආපසු එලෙසම විවෘත කර එය පවත්වාගෙන යාමේ අදහසින් නම්, එම ලිපිය ඔබේ පරිගණකයේ තන්පැත් කල යුතුය. එවිට නැවත යම් දිනක එය ඔබට එලෙසෙම විවෘත කර ගැනීමට හැකි වේ. 

එසේ තැන්පත් කරීම මයික්‍රොසොෆ්ට් වර්ඩ් තුළ හඳුන් වනු ලබන්නේ Save කිරීම ලෙසයි.

අපි මෙම පාඩම තුලින් ඔබේ ලිපියක් සුරක්ෂිතව පරිගණකයේ තැන්පත් කරන්නේ කෙසේ දැයි ඉගෙන ගනිමු.


 ප්‍රථම වතාවට Save කිරීම 


  • Microsoft Office button එක ක්ලික් කරන්න. 
  • ඉන්පසු පැමිණෙන මෙනුවෙන් Save යන්න තෝරා ගන්න
Save යන්න තෝරා ගැනීමෙන්, ඔබේ ලිපිය ඔබ මිට පෙරත් save කර ඇති එකක්නම්, එම ස්ථානයේම save වීම සිදු වේ. ඔබ මෙය save කරන්නේ ප්‍රථම වතාවට නම්, මීළඟට save as නමින් ඩයලොග් box එකක් දර්ශනය වේ. 




  • පහත දක්වා ඇති පරිදි, Save In ඉන් නමින් දක්වා ඇති Drop Down Menu එකින් ඔබට Save කිරීමට අවශ්‍ය ස්ථානය තෝරා ගන්න.. 
එය ඔබ නොදන්නේ නම්, එය වෙනස් නොකර තබන්න.. පහත උදාහරණයේ නම්, ඩෙස්ක්ටොප් එක මත මෙය save වේ.

  • ඉන්පසු ලිපියට නමක් ලබා දෙන්න. පහත උදාහරණයේ නම්, නම ලෙස යොදා ඇත්තේ Cover Letter යනුවෙන්ය.
  • අවසානයේ save  යන්න ක්ලික් කරන්න. එමගින් ඔබේ ලිපිය save වීම සිදුවේ.



 Save As භාවිත කර Save කිරීම

සමහර විටෙක ඔබට මෙම ලිපිය වෙනත් ස්ථානයක save කිරීමට අවශ්‍ය වේ. එනම් පෙන් ඩ්‍රයිව් එකක් තුල, ඔබේ දුරකතනයේ, එසේත් නැත්නම් ඔබේ පරිගණකයේම වෙනත් ස්ථානයක save කිරීමට සිදු වේ. එවැනි විටෙක අප තෝරා ගත යුත්තේ Save As නම් තෝරාගැනීමයි.

ඉන් පසු ඉහත දක්වා ඇති පරිදිම ඩයලොග් box එකක් දිස් වේ. එහි,


  •  Save In ඉන් නමින් දක්වා ඇති Drop Down Menu එකින් ඔබට Save කිරීමට අවශ්‍ය ස්ථානය තෝරා ගන්න.
  • ඉන්පසු ලිපියට අවශ්‍ය නම් වෙනත්  නමක් ලබා දෙන්න
  • අවසානයේ save  යන්න ක්ලික් කරන්න. එමගින් ඔබේ ලිපිය වෙනත් ස්ථානයක save වීම සිදුවේ.

මයික්‍රොසොෆ්ට් වර්ඩ් සිංහලෙන් - කොටස 1

වර්තමානයේ බොහෝ දෙනා ලිපි සංස්කරණ කටයුතු සඳහා යොදා ගනු ලබන පරිගණක මෘදුකාංගයක් වනුයේ මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගයයි. වසර ගණනාවක සිට පරිගණක ආශ්‍රිත ඉතා ජනප්‍රිය මෘදුකාංගයක් ලෙස මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය කිරුළු දරා සිටි. එනම් අද ඊයෙක නොව වර්ෂ 1983 සිට අද දක්වාම එය ඇති ජනප්‍රිය පරිගණක මෘදුකාංගයක් වේ.


මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගයේ භාවිතයන් ඉතා පුළුල් පරාසයක පැතිර තිබේ. ඉන් කිහිපයක් නම්..


  • අලංකාර පින්තුර, ප්‍රස්ථාර හා වගු ඇතුලත් ව්‍යාපාරික ලිපි ගොනු නිර්මාණය.
  • පෞද්ගලික හා වෙනත් ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය ලිපි සැදීම.
  • ආරාධනා පත්‍ර, දැන්වීම් ආදිය නිර්මාණය.
  • ප්‍රශ්න පත්‍ර සැකසීම, පොත් ලිවිම, සටහන් සැදීම ආදී කාර්යයන්ට....


එබැවින් මෙම මෘදුකාංගය පිලිබන්ධව දැන සිටීම ඉතාම කාලෝචිත දෙයකි. වර්තමානයේ පරිගණක ආශ්‍රිත බොහෝ රැකියා සඳහා  මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය පිලිබ්නදව් මනා දැනුමක් තිබීම අනිවාර්යය සුදුසුකමකි. එපමණක් නොවේ, මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය මගින් වැඩ කරන ආකාරය ලංකාවේ වැඩියෙන්ම විකිනෙනන මෘදුකාංග පාඨමාලා වලින් එකකි. එබැවින් මෙම වෙබ් අඩවිය මගින් මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය මගින් වැඩ කරන ආකාරය සම්බන්දව ඔබට ඉගැන්වීමට මේ ආකාරයට දීර්ඝ විස්තර සහිත ලිපි රැසක් පළවනු ලැබේ..

මෘදුකාංගය පිලිමබ්න්දව නම් කතා කිරීමට අපට බොහෝ දේ තිබේ. නමුත් ඊට මත්තෙන් අපට අවශ්‍ය වන වෙනත් කරුණු කිහිපයක් පිලිම්බන්දාව් ඔබව දැනුවත් කිරීම වටින දෙයකි.

වර්ඩ් භාවිත කිරීමට නම්, යතුරු පුවරුව පිළිබඳවද ඔබට මනා දැනුමක් තිබිය යුතුය. සාමාන්යෙන් භාවිත වන ඉංග්‍රීසි යතුරු වලට වඩා තවත් බොහෝ යතුරු යතුරු පුවරුවක තිබේ. ඒවා නම්, එම යතුරු විවිධ කාර්යයන් කිරීම සඳහා භාවිත වේ. ඒවා පිළිබඳව දැන සිටීමෙන් ඔබගේ ලිපි ගොනු සම්බන්ධ කාර්යයන් ඉතා පහසුවෙන් සහ  ඉක්මනින් සිදු කර ගැනීමට හැකි වනු ඇත.  

Esc - ඔබ විසින් විවෘත කරන ලද, ඕනෑම ඩයලොග් බොක්ස් එකක් නැවත වැසීමට, හෝ වෙනත් ඕනෑම යතුරක් ඔබන ලද්දේ නම්, එය කැන්සල් කිරීමට මෙම යතුර භාවිත වේ.

Tab - Spacebar එකින් ඔබට ලබා දෙන ඉඩකඩට වඩා වැඩි ඉඩක් එකවර කර්සරය දකුණට ගෙන යාමට මෙය භාවිත වේ, 

 Caps Lock - මෙම යතුර එබීමෙන් යතුරු පුවරුවේ දකුණු පස, (ලැප්ටොප් පරිගණක වල නම්, එම යතුරේම) කොළ පැහැති බල්බයක් දැල්වේ.  ඉංග්‍රීසි කැපිටල් අකුරු ලිවීමට පෙර මෙම යතුර එබිය යුතුය. සාමාන්යෙන් මෙය ක්‍රියාත්මක නොකළහොත් යතුරු පුවරුවේ අකුරු සිම්පල් අකුරු ලෙස ටයිප් වේ.

Shift - ඉහත සඳහන් කළ, capslock යතුර මෙන්ම, මෙය ඔබාගෙන සිටීමෙන් ඉංග්‍රීසි සිම්පල් අකුරු කැපිටල් බවට හෝ, කැපිටල් අකුරු සිම්පල් අකුරු බවට හෝ පත් කළ හැකිය. නමුත් ඒ සඳහා අවශ්‍ය අකුර සමග මෙම shift යතුරද ඔබා ගෙන සිටිය යුතුය. එපමණක් නොවේ, කොමා, නැවතීමේ ලකුණු, ප්‍රශ්නාර්ථ ලකුණු ආදිය ටයිප් කිරීමට මෙම shift යතුර ඔබා ගෙන සිටිය යුතුය.

Home - මෙමගින් ඔබ ටයිප් කරමින් සිටින අකුරු පේලියේ මුල් අකුර වෙතට කර්සරය ගෙන යාම සිදුවේ. Ctrl යතුර සමග මෙය එබීමෙන්, මුළු ලිපියේම පළමුවන අකුර වෙත කර්සරය ගෙන යාම සිදුවේ.

End - මෙමගින් ඉහත සඳහන් කළ, Home යතුරේ විරුද්ධ ක්‍රියාව සිදුවේ. එනම්, පේළියක අවසාන අකුර වෙත කර්සරය ගෙන යාම මෙමගින් සිදුවේ. 

Delete - මෙමගින් කර්සරයට දකුනෙක්  ඇති අකුරු මැකීම සිදුවේ. අකුරු හයිලයිට්  කර, මෙය එබීමෙන් වචන හෝ පේලි ගණනාවක් එකවර මැකීමට මෙමගින් පුළුවන්.

Backspace - මෙමගින්   කර්සරයට වමෙන්   ඇති අකුරු මැකීම සිදුවේ. අකුරු හයිලයිට් කර, මෙය එබීමෙන් වචන හෝ පේලි ගණනාවක් එකවර මැකීමට මෙමගින් පුළුවන්.

Page Up / Page Down - මෙම යතුරු මගින් ඔබගේ ලිපියේ ඉහලට සහ පහලට ගමන් කර හැකිය. ඔබේ පවුස් එකේ වම සහ දකුණු බට්න් වලට මැදින් කරකවන රෝදයක් ඇත්තෙන් නම් එය කරකවිමෙන්ද, ලිපියේ ඉහල සහ පහල යාමට පුළුවන්.

ඊළඟ ලිපිය මගින් මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය විරුර්ත කරන ආකාරයේ සිට එහි සාමාන්යේ සැකැස්ම පිළිබඳව ඔබට අදහසක් ලබා දෙනු ඇත.

------------------------------------------------------------

ඉහත ලිපිය උපුටා හෝ වෙනස් කර වෙනත් කිසිදු  මාධ්‍යයක හෝ ස්ථානයක මාගේ අවසරයකින් තොරව පල කිරීම නීතිමය වශයෙන් තහනම් බව කරුණාවෙන් සලකන්න. 

දේශාන් වලල්ලාවිට
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.


Thursday, July 7, 2016

ඔබ නොදනින ඔබේ අසිරිමත් මනසේ මහා බලය

තම සිතට තම අතමය සෙවණැල්ල.. යනු ඉපැරණි වටිනා කියමනකි. නමුත් අප කා තුලත් ඊටත් වඩා බෙහෙවින් වටිනා සෙවනැල්ලක් තිබේ. එය අපට ඕනෑ ආකාරයකට හසුරවා ගත හැකි මහා බලසම්පන්න සෙවණැල්ලකි. එය වරින් වර වෙනස් වුවත්, එලිය වැටෙන අතට වෙනස් වන සෙවනැල්ලක් නොවේ. එය ගලේ කෙටුවාක් මෙන් බොහෝ කලක් එක දිගටම පවත්වාගත හැකි සෙවණැල්ලකි. කුමක්ද මේ මහානර්ඝ සෙවනැල්ල? 

එනම් අප කා තුලත් පවතින අපේ සිතයි. බොහෝ දෙනෙක් අපගේ මේ සිතේ වටිනා කම ගැන හොඳින් අවබෝධ කරගෙන නොමැත. අප සෑම කෙනෙකුටම සිතක් තිබේ. එය තුල ඇති මහත් වූ බලයක් ගැබ්ව තිබෙන බව බොහෝ දෙනෙක් නොදනී.

විවිධ පුද්ගලයන් තම තමන්ගේ සිත් විවිධ කටයුතු සඳහා විවිධාකාරයෙන් යොදා ගනිය්. අප කල්පනා කරන්නේ අපගේ සිතෙනි.. ඉදිරියට කරන්නට තිබෙන වැඩ කටයුතු සැලසුම් කරන්නේ සිතෙනි.. විවිධ අධ්‍යාපනික ගැටළු විසඳන්නේ, පාඩම් කරන්නේ සිතේ බලයෙනි. මිනිසාග් හඳට ගියේද  කාගේ හෝ ඇතිවුණු සිතිවිල්ලක් හේතුවෙනි. ජපානය සුනු විසුනු වී පරම්පරා ගානක් යනතෙක්  ජානමය විකෘති ඇති කිරීමට හේතු වුයේ සිතයි. කෙනෙකු සසර බැඳීම් වලින් ඉවත්වී මහණදම් පුරන්නේද සිතිවිල්ලක් නිසයි. 

මේ අනුව බලන කල සිතේ බලය මේ සාක් යයි කිව නොහැකියි. එය පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙයි. නමුත් ඕනෑම කෙනෙකුට අවශ්‍යතාව තිබේ නම් ඒ බලය වැඩි කරවා ගෙන තමන්ට රිසි සේ අත්විඳිය හැකිය. 

 නමුත් බොහෝ දෙනෙන්ක් සිත යොදා ගන්නේ  සාමාන්‍ය එදිනෙද වැඩ කටයුතු සඳහාය. දියුණු වීමට, මුදල් හදල වැඩි කර ගැනීමට, විභාග සමත් වීමට, ජයග්‍රහණ කරා යාමට සිතේ හැකියාව සහ බලය එක එල්ලේම යොදා ගන්න පුද්ගලයින් බොහෝ අඩුය. 

අපට අවශ්‍ය ඕනෑම දෙයක් අප වෙත ගෙන දීමේ මහා හැකියාවක් අප සිතට ඇති බව ගොඩක් දෙනෙක් නොදනින කරුණකි. ඇතැම් අය මොන මොන ක්‍රමයකින් හෝ ඒ බව වටහාගෙන සමාජයේ ඉතා ඉහල තලවලට පැමිණෙති. මහා ධනවතුන් වෙති. නමුත් ඒ  ඉතා සීමිත පිරිසකි.


නිදසුනක් ලෙස, අප රටේ සිටින මුස්ලිම් ජාතිකයින් පිළිබඳව සිතා බලමු. ඔවුන් සෑම දිනකම දෙවියන් යඤ කරයි. ඒ සඳහා ඔවුන් සෑම දිනෙකම එකම වෙලාවක් වෙන් කරගෙන තමන්ට අවශ්‍ය දේ දෙවියන්ට දැඩි භක්තියකින් යුතුව පවසයි. මේ රටේ ප්‍රධාන ව්‍යාපාර රැසක ඒකාධිකාරයක් ඇත්තේ මුස්ලිම් ජනතාව අත මත බව ඔබට අමුතුවෙන් කිව යුතු නැත. ඔවුන් එලෙසෙ තමන්ට අවශ්‍ය දේ තදින් දැඩි භක්තියකින් යුතුව පවසන විට එය ඔවුන්ගේ යටි සිතේ තදින් තැන්පත් වේ. 

ලංකාවේ මුස්ලිම් ජාතිකයින් පමණක් නොවේ, මැද පෙරදිග බොහෝ රටවල් දෙස බලන්න.. කොටි ප්‍රකෝටිපතියන් ඒවායේ ජිවත් වේ.. මිට දශක කිහිපයකට පෙර නිසරු කාන්තාර ලෙස පැවති එම දේශනයන්බො දැන් අහස උසට දිවෙන මදුරු, මාලිගා වලින් ලොව අන් සෑම රජයක්ම පරද්දවයි. ඩුබායි රටේ බර්ජ් කලීෆා කුලුන දැන් ලොව උසම කුලුනයි.. එය ලෝකයේ මනස්කාන්ත නගර වලින්ද එකක් වෙයි. 

කුමක්ද මෙයට හේතුව? පොලොව තුල මහා විශාල තෙල් නිධි පැවතීම පමණක්මද? නැත, රටේ සියලු දෙනාම එක විට, එකම වුවමනාවකට තද විස්වාසයකින් යුතුව දෙවියන්ට යඤ කිරීමේදී, ඒ අවශ්‍යතා ඔවුන්ගේ යටි සිත් වල ඉතා තදින් තැන්පත් වේ. ඇති මහත් පිරිසකගේ යටි සිත් එකට ක්‍රියාකර ඔවුන් සැම දෙනාටම ධනවත් වීමට ඉඩකඩ සලසයි.

අප පොළොවේ කුමන කුමන සම්පත් ඇත්දැයි අපි නොදනිමු. සමහර විටෙක ඔබ මේ මොහොතේ වාඩි වී සිටින්නේ මිට මීටර් 10කට පමණ යටින් ඇති මැණික් නිධියක් මත විය හැකිය. එසේත් නැත්නම් ඔබ වත්තේ ඇති නිසරු බිම් කඩක් යට වසර දහස් ගණනකට පෙරාතුව වළලන ලද මහා නිධානයක් තිබිය හැකිය. එසේත් නැත්නම් ඔබ අද දින ලොතරැයියක් මිලදී ගත හොත් එය ජයග්‍රහණය කර ඔබ ක්ෂණයකින් කොටි පතියක් වනු ඇත. අප ඒ කිසිත් නොදනිමු.

නමුත් අපේ යටි සිත අපේ වාසනාව ගැන හොඳින් හඳුනයි. අපිට අවශ්‍ය සම්පත් මෙන්ම, ඒවා ලඟා කරගත හැකි මාර්ග පිළිබඳව හොඳින් දනී. නමුත් ඒ ඒ දේවල් අපට ලබාදීමට යටි හිතට අවශ්‍යතාවයක් නොමැත. ඒ මන්ද? ඒ, අපට ඒ දේවල් අවශ්‍ය බව අප විසින් අපගේ යටි හිත වලට කා වද්දා නොමැති හෙයිනි. 

ඒ සඳහා අවශ්‍ය වනුයේ අපට ඕනෑ කරන දේ කෙලින්ම අපගේ සිතට කීමයි. ඔබට අවශ්‍ය දේ ඉතා තදින් ඔබේ යටි හිතේ තැන්පත් වූ විට, ඒ දේ මොන විදියකින් හෝ ඔබ වෙත ගෙන දීමට ඔබගේ යටි සිත ක්‍රියාකරයි.

වාසනාව පිළිබඳව සමහරක් දෙනා විස්වාස නොකරයි. ඒ අයගේ ඇදහීම වනුයේ උත්සාහය මඟින් ඔබට අවශ්‍ය දේ ගෙන දෙන බවයි. 

මහන්සි වී වැඩ කල පමණින්ම සම්පත් ඔබ වෙත ලඟා නොවේ. එය එසේ නම් ඇඟ වෙහෙසව කුලී වැඩ කරන පුද්ගලයින් මේ රටේ ධනවත්ම පිරිස විය යුතුය. නමුත් එය එසේ නොවේ. ඔවුන්ගේන් වැඩ ගන්න පාලක පන්තියයි ධනවතුන් වනුයේ. ඔබගේ මහන්සිය කෙසේ වෙතත් යටි සිතේ අරමුණ ඔබට අවශ්‍ය දේ වෙත යොමු වී පැවතීම තරම් තවත් දෙයක් නොමැත. 

ඔබ ව්‍යාපාරයක් කරන පුද්ගලයෙක් විය හැකිය. ඔබගේ වෙලන්දසලේ ප්‍රචාරක කටයුතු කොතරම් හොඳ වුවත් ඒ උත්සාහය තරමට ඔබට පාරිභෝගිකයින් නොසිටිනු ඇත. 

අප සමාජයේ ඇතැම් ව්‍යාපාරිකයින් සිටියි, නමුත් කිසිදු ප්‍රචාරයක් නොකරන ඔබේ ආයතනයටත් වඩා කුඩා වෙළඳසල්  වෙත දෛනිකව විශාල පාරිභෝගිකයින් පිරිසක් පැමිනෙනු දැක ඔබ කම්පා වූ අවස්ථා එමටව ඇත. 

ඔබගේ ව්‍යාපාරයට පාරිභෝගිකයින් කැන්දා දීමට ඔබගේ යටි හිත තරම් ප්‍රබල හේතුකාරකය තවත් නොමැත. භෞතික කිසිදු දෙයකට වඩා ඔබට නොපෙනෙන නමුත් ඔබ තුල සිටින සිතට මහා ශක්තියක් ඇත.

කුමක් ද මිට හේතුව.? ඒ ඔබේ සහ ඒ ඒ ව්‍යාපාර හිමි අයගේ යටි සිත් ක්‍රියා කරන ආකාරයේ වෙනසයි.

දිනකට සුළු වෙලාවක් වෙන් කරගෙන ඔබට අවශ්‍ය දේ තදින් ඔබේ සිතට දැනුම් දෙන්න.. ඒ සඳහා සුදුසුම වෙලාව ලෙස මා අත්දැකීමෙන් අවභෝධකරගෙන සිටින්නේ රාත්‍රියේ නිදා ගැනීමට ප්‍රථමවත් , උදැසන අවදි වී ඇඳෙන් බැසීමට පෙරත්ය. මේ අවස්ථාවේ ඔබ, ඔබේ යටි සිත් වලට කරන්නාවූ යෝජනා හා අණ කිරීම් ඉතා තදින් යටි සිතේ තැන්පත් වේ. ඒ අවස්ථාවල කරන්න වූ අවශ්‍යතා ඉතා ඉක්මනින් ඉටු වන බව මම හොඳා කාරයෙන්ම දනිමි.

කුමන ආකාරයටද ඔබ ඔබේ යටි සිතෙන් උදවු ලබා ගනුයේ? ඒ සඳහා ස්වයං යෝජනාවක් ඔබ ඔබේ යටි සිතට කල යුතුය. උදාහරණයක් ලෙස, ඔබට මේ  වසර තුලදී රතු පාට බ්ලුබර්ඩ් මෝටර් රථයක් අවශ්‍යයි සිතන්න.. ඔබ ඒ දේ මෙලෙස ඔබේ සිතට පවසන්න..

"හැකි තාක් ඉක්මනින් රතු පාට අලුත් බ්ලුබර්ඩ් කාර් එකක් මට හිමි කර දීම ගැන මගේ යටි සිතට ගොඩක් ස්තුතියි."

මෙලෙස ඔබ නිදා ගැනීමට පෙර සහ, උදෑසන ඇඳෙන් බැසීමට පෙර තෙවරක් බැගින් සිතින් කියන්න. එමෙන්ම, ඔබ ලස්සන රතු පාට බ්ලුබර්ඩ් රථයකින් බසින් හැටි, එය උජාරුවෙන් පදවන හැටි, අනෙක් අය ඔබට ප්‍රශංස කරන හැටි ගැන සිතින් දකින්න.. සෑම දිනකම මෙසේ ඔබ සිතන විට ඔබේ ඒ අරමුණ ඉෂ්ට කිරීමට ඔබේ සිත අනිවාර්යයෙන්ම කටයුතු කරනු ඇත.

ඔබට ඒ සඳහා මුදල් නැත්නම්, මුදල් ලබා ගැනීමට අවශ්‍ය මාර්ගයක් ඔබට පෑදෙනු ඇත. රැකියාවක්, ව්‍යපරෙන් මහා ලාභයක්, ලොතරැයි දිනුම් ඇදීමක්.. ආදී කුමන හෝ ක්‍රමයකට ඔබට මුදල් ලැබෙනු ඇත. එසේත් නැත්නම්, ඔබට ඉතාමත් ලාභ වන ආකාරයකට ඉතාමත් අඩු මිලට එවනි මෝටර් රථයක් ඔබට කාගෙන් හෝ මිලදී ගැනීමට පවා හැකි වනු ඇත.

ඔබේ යටි සිතේ බලය අසීමිතයි. අද ඔබ, ඔබේ සිතට අණ කරන දේ හෙටම ඉෂ්ට නොවනු ඇත. නමුත් හැකි තාක් ඉක්මනින් ඒ දේ ඔබට ලඟා කරදීමට ඔබේ යටි සිත කටයුතු කරනු ඇත. අවශ්‍ය වනුයේ ඒ දේ ලැබෙන තුරු දැඩි අධිෂ්ටානයෙන් යුතුව සිටීමයි. 





ඉහත ලිපිය උපුටා හෝ වෙනස් කර වෙනත් කිසිදු  මාධ්‍යයක හෝ ස්ථානයක මාගේ අවසරයකින් තොරව පල කිරීම නීතිමය වශයෙන් තහනම් බව කරුණාවෙන් සලකන්න. 

දේශාන් වලල්ලාවිට 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය



ඇපල් අයිෆෝන් දුරකතනයේ ඉතිහාසය සහ විකාශනය

ජංගම දුරකථන කොතෙකුත් තිබේ යයි ඔබට විටෙක සිතෙන්නට ඇත. නමුත් ඔබ සිතන තරම් ජංගම දුරකථන මෙලොව නැත. මන්ද යත් මෙලොව වාසි ජනතාවගෙන් සියයට පනහක් වත් තරම් අය තවමත් ජංගම දුරකතනයක් තියා ස්ථාවර දුරකතනයක සෙවනැල්ලක් වත් දැක නොමැති බැවිනි. නමුත් අප රටේ  නම් ජංගම දුරකථන සඳහා ලියාපදිංචි කර ඇති සිම් පත් ගණන රටේ මිනිසුන් ගන්නටත් වඩා වැඩිය. 

මේ ලොව ජංගම දුරකථන මාදිලි බොහෝසෙයින් තිබේ. එයිනුදු ඇපල් අයිෆෝන් දුරකතයට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. මේ වනවිට ඇපල් අයිෆෝන් මෙලොවට පැමිණ වසර 9කට අධිකයි. පෙනෙන විදියට නම් එහි ජනප්‍රියත්වය  වසරින් වසර වැඩිවේ . එනිසාම එහි විකාශනය හා ඉතිහාසය පිළිබඳව තොරතුරු බිඳක් ගෙන හැර පෑමට අපි  සුදානම් වුනෙමු.

 අයිෆෝන් දුරකතනයට වසර සිය ගණන් ඉතිහාසයක් නොවුනත් එහි පළමු එළිදැක්වීම සිදු වුනේ වසර 2007 දිය. එනම් මිට වසර 9 කට පමණ ඉහතදීය. අද පවතින අයිෆෝන් එකක් හා සැසඳීමේදී ළදරු වියක පැවතුනත්, එකල හැටියට  අයිෆෝන් දුරකතනය එම  යුගයේ දැවැන්තම සොයාගැනීමක් විය. එය, එකල මිනිසුන් නොදුටු විරු වස්තුවක් විය. ලොකු කුඩා සියල්ලන්ටම පාහේ එය සෙල්ලම් බඩුවක් තරම් අරුම පුදුම දෙයක් විය.  අයිෆෝන් දුරකතනයේ පළමු එලි දැක්ම සිදු කර එය වෙළඳපොළට නිකුත් කර දිනයේ ඇපල් වෙළඳසල් වල වැල නොකැඩී ජන ගංගාවන් එක් රැස් වන්නට විය. සමහරුන්ට පෝලිම් වලට වී බොහෝ වේලා සිට ගෙන සිටින්නට විය. ඉල්ලුමට හරියන්න ලබා දිය නොහැකි වීමෙන් තවත් අයට පාරේ බැංකු මතට වී කල් මරන්නටද සිදුවිය.  අයිෆෝන් දුරකතනය පළමු දිනයේදීම පුදුම සහගත ලෙස අලෙවි වන්නට විය.

මෙතරම් ප්‍රචලිත වූ ප්‍රථම අයිෆෝන් දුරකතනයේ එකල ගති ලක්ෂණ කිහිපයක් අපි විමසා බලමු.

 ප්‍රථම අයිෆෝන්   දුරකතන ගිගා බයිට් 4 සිට 16 දක්වා ප්‍රමාණයන්ගෙන් මිලදී ගත හැකිවිය. දැන් මෙන්ම එකල ද මෙමරි කාර්ඩ් දැමීමේ හැකියාවක් ඒවා තුල නොවුනි. එහි තිරය ප්‍රමාණයෙන් අඟල් 3.5ක් වූ අතර දුරකතනයේ මුළු බර ග්‍රෑම් 135කි. අයිෆොන් දුරකතනයේ පිටුපස කැමරාව මෙගා පික්සල් 2ක එකකි. එහි ඉදිරිපස කැමරාවක් නොවිය. 

කුඩා පරිගණකයක් බඳු වූ එහි ප්‍රොසෙසරය 400MHz වේගයක් සහිත විය. රැම් මතකය 128mb කි.
එමෙන්ම එය සතුව සාපේක්ෂව  දියුණු වෙබ් බ්‍රව්සරයක් විය. එකල පැවතුනු අනෙකුත් සාමාන්‍ය හා ස්මර්ට්ෆොන් වලින් වෙබ් අඩවි නැරඹීමේදී වූ සංකුලතා අයිෆෝන් දුරකතනයේ වෙබ් බ්‍රව්සරයේ නොවිය. වෙබ් පිටුවක්  නැරඹීමේදී එහි සැලැස්ම බොහෝ විට වෙනස් වී දර්ශනය වුවත් අයිෆෝන් තුළින් නැරඹීමේදී එසේ නොවුනි. ඊට හේතුව වුයේ WAP තාක්ෂණයට වඩා හොඳ තාක්ෂණයක් අයිෆෝන් සතුව තිබීමය.

ඇපල් සමාගමේ ප්‍රවර්ධන සංකල්පයකට අනුව  අයිෆෝන් එක  එකල පැවති ජනප්‍රිය උපාංග ත්‍රිත්වයක එකතුවකි. ඒ අනුව අයිෆෝන් එකක් යනු පුළුල් තිර අයිපොඩ් එකක්, ජංගම දුරකතනයක් සහ අති  ප්‍රබල අන්තර්ජාල උපාංගයක එකතුවකි.

නමුත් ඇතැම් දේවලින් නම් අයිෆෝන් එක මිලෙන් අඩු වෙනත් ජංගම දුරකථන  වලටත් වඩා දුර්වල විය. MMS, වීඩියෝ තිරගත කිරීම්, වෙනස් කල හැකි නාද රටා, මෙමරි කාර්ඩ් ආදිය අයිෆෝන් තුල නොවිය. එමෙන්ම එක් කෙටි පණිවිඩයක් එකවර යැවිය හැකි වුයේ එක් අංකයකට පමණකි. කොපි, පේස්ට් කිරීම් ආදී සරල ක්‍රියාවන් මෙන්ම ඊට වඩා සංකීර්ණ පද සැකසුම් කාර්යයන් හෝ ප්‍රථම අයිෆෝන් දුරකතනයෙන් කල නොහැකි විය.

එය සතුව Google maps අන්තර්ගත කර තිබුනත් GPS පහසුකම තිබුනේ නැත. එසේ වුවත් GPS පවා නොමැතිව මාර්ග දිශා ලබා දීමේ හැකියාව නම් අයිෆෝන් සතුව පැවතුනි.

කෙසේ වෙතත් යථෝක්ත පහසුකම් එකල හැටියට ඉතාමත් ඉහල ගනයේ ඒවා විය. 

ප්‍රථම අයිෆෝන් දුරකතනයෙන්  ඇමතුම් ලබා ගත හැකි වුයේ AT&T සිම්පත් භාවිතයෙන් පමණි. මන්ද යත් ප්‍රථම අයිෆෝන් එක තුල පවතී තාක්ෂනය අනෙකුත් දුරකථන ජාල  සමාගම් ඒ වනවිටත් බැහැර කර ඊට වඩා අලුත් තාක්ෂනයන් වෙත මාරු වී තිබුණු නිසායි.  නමුත් ස්ටීව් ජොබ්ස් විසින් 
AT&T සමාගම  සමග එක්ව තිබුණු ගිවිසුම් වලට අනුව සෑම AT&T භාවිත කරන අයිෆෝන් බිලකින්ම මසකට ඩොලර් දහයක මුදලක් ඇපල් සමාගමට හිමි විය යුතු විය. විශ්ලේෂණ දත්ත වලට අනුව 2007 වර්ෂය අවසාන වනවිට ඇපල් දුරකථන මිලියන 3 කට වඩා අලෙවි විය යුතුව තිබුණි. 

මේ සා අති විශාල ඉල්ලුමකට සෑහෙන්න අයිෆෝන් නිපදවීම, ඇපල් සමාගමේ සේවකයින්ට අතිශය පීඩාකාරී විය.   එහි මෘදුකාංග ඉංජිනේරුවන්ට  දින ගණන් නිදි වර්ජිත රාත්‍රියන්  ගත කරන්නට සිදු විය. එහි වූ, එක්තරා නිෂ්පාදන කලමනකරිවරයකට අපුරු ඇබැද්දියකට මුහුණ දීමටද මෙකල සිදු විය. දැඩි කාර්ය බහුල තාවය නිසා, තම කාර්යාලයිය කාමරයට වැදුණු ඇය දොර වැසුයේ දැඩි වේගයෙනි. එම වේගයට අගුල කැඩී දොර නැවත අර ගැනීම පවා නොහැකි විය. එහි සෙසු සේවකයන්ට සිදු වුයේ පැය ගණනක් ගතකර, දොර කඩා ඇයව එලියට ගැනීමටයි.

මුල්ම අයිෆෝන් දුරකතය 8GB හා 16GB ලෙස වර්ග දෙකකින් පැමිණියේය. මින් 8GB එක ඩොලර් 399 කටත්, 16බGB එක ඩොලර් 499 කටත් අලෙවි විය.  එකල  අයිෆෝන් දුරකතනය ලොව මිල අධිකම දුරකථනය නොවුනු අතර ඊට වඩා මිලෙන් බොහොම වැඩි දුරකථන ඕන තරම් වෙළඳ පොලේ විය. 

එකල දල වශයෙන් ඩොලර් 399 කට අලෙවි වූ, අයිෆෝන් එකකින් අපල සමගම ලැබූ ශුද්ධ ලාභය $89කි. එසේ නම්, අයිෆෝන් මිලියන 3කින් ඔවුන් ලද ලාභය කෙතරම් දැයි ඔබම සිතා  බලන්න.  ඒ, එක් දුරකතනයක වසර දෙකක බිල සඳහා ඩොලර් 240ක කොමිස් මුදලක් ලැබීමට  AT&T සමාගමත් සමග ඇති කරගත් ගිවිසුමට අමතරවයි.

මෙවැනි විශාල ලාභයක් ලැබුවේ අපල සමාගම පමණක්ම නොවේ. අයිෆෝන් මිලදී ගත බහුතරයක්,  AT&T වෙත නව පාරිභෝගිකයින් විය. එබැවින් AT&T හි සිම්පත් සහ අන්තර්ජාල දත්ත පැකේජ විකුණුම් ඇති ශ්‍රිඝ්‍රතාවයකින් ඉහල යන්නට විය.

අයිෆෝන් දුරකතනයේ දෙවැනි පරම්පරාව එලි දැක්වුණේ තවත් වසරක් පමණ ගොස්ය. එනම් 2008 වසරේදීය. එහි පළමු අයිෆෝන් දුරකතනයට වඩා පහසුකම් රැසකින් යුක්ත විය. මුලදී නොතිබුණු 3G සම්බන්ධතාවය සහ GPS මෙහිදී සපයා තිබුණි. අයිෆෝන් දුරකතනයකට ඡයාරූප ගත හැකි වුවත්, වීඩියෝ   තිරගතරීමේ හැකියාවක් මේ වනවිටත් තිබුනේ නැත.

එම තිරගත කිරීමේ පහසුකම අයිෆෝන් දුරකතනයට ලැබුනේ 2009 දී එලි දැක්වුණු 3GS දුරකතනයත් සමගයි. එපමණක් නොවේ, කටහඬ හඳුනා ප්‍රතිචාර දැක්වීමටද එයට හැකි විය. නමුත් එම කටහඩ පාලනය කරන වැඩසටහන  එකල "සිරි" නමින් හැඳින් වුයේ නැත. මෙම දුරකථනය කොතෙකුත් ජනප්‍රිය වුවද යත්, පළමු සතියේදීම දුරකථන මිලියනයකට වඩා විකිණී ඇත.

2010 වර්ෂදී තවත්  අයිෆෝන් දුරකතනයක් එලි දැක්විණි. එය අයිෆෝන් 4 නම් විය. ඉදිරිපස කැමරාවක් සහිත පළමු ඇපල් දුරකථනය මෙම අයිෆෝන් 4 විය. එමෙන්ම, තිරයේ ප්‍රමාණය වෙනස් නොකර පික්සල් ප්‍රමාණය වැඩි කරමින් Retina Display හඳුන්වා දෙනු ලැබුයේද මෙමගිනි.

4S අයිෆෝන් දුරකථනය එලි දක්වනු ලැබුයේ වර්ෂ 2011 දිය.  කටහඬට  ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන තව දුරටත් සංවර්ධනය කර වත්මන් "සිරි" වැඩසටහන ලෙස මුලින්ම එක්  කරනු ලැබුයේ මෙම 4S දුරකතනයටයි. එමෙන්ම එහි කැමරාව 8 මෙගා පික්සල් දක්වා වැඩි කරනු ලැබිය. 

මේ ආකාරයට විවිධ උපාංග හා මෘදුකාංග එක් කරමින් සෑම වසරකදීම ඇපල් අයිෆෝන් එකක් එලි දැක්වීම සිදුවේ. මේ වනවිට අයිෆෝන් දුරකතනය එලි දක්වා වසර 9ක් වනවිට දැන් වෙළඳපොලේ ඇත්තේ අයිෆෝන් 6SE  දුරකතනයයි. මෙලොව අන් කිසිදු ජංගම දුරකතනයකට නැති ජනප්‍රියතාවක් එය ලබා තිබේ. 12MP කැමරාව, වීඩියෝවක් සේ වෙනස්වෙන චයරූප, 4G තාක්ෂනය, අති වේගවත් ප්‍රොසෙසරය ඇතුළු තවත් බොහෝ දෙයින් වත්මන් අයිෆෝන් දුරකථනය එහි පළමු එළිදක්මට වඩා වඩාත් ඉදිරියෙන් සිටියි.



දේශාන් වලල්ලාවිට
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.


Blog Archive